Tuesday, June 14, 2016

පාරුව 02

පාරුව 02

     යාත්‍රිකයා ගොඩක් දුර යාත්‍රා කළා. ඒත් ඒවා තමන්ගේ සහෘදයින් එක්ක බෙදා ගන්න, යත්‍රිකයට වෙලාවක් තිබුනෙ නෑ. පාරුව තිඹිරිගෙයිම මිය යන්න නොදී පණ දෙන්න කියල හිතා ගෙන තමයි කාලයකට පස්සෙ පෑන අතට ගත්තෙ. අවසනාවකට වගේ කෑගල්ල ප්‍රදේශයේ පන්සලෙන් පන්සලට , අම්බලමෙන් අම්බලමට සංචාරය කරල හොයා ගත්ත වටින කියන තොරතුරු බොහොමයක් අස්ථාන ගත වෙලා. ඒවා බොහොමයක් අපේ ජනතාවගෙන් සැඟවුණු තොරතුරු. කොහොම වුණත් ආයෙත් ඒ ගමන යන බලපොරොත්තුව ඉෂ්ට කර ගන්න ඕන.


    අචින්තම්පි භවති - චින්තම්පි විනස්සති ..... කියල බුදු බණෙත් තියෙනව නෙ. ඒ වගේම යාත්‍රිකයටත් නොසිතූ විරූ දෙයකට මුහුණ පාන්න සිදු වුනා. ඒ තමයි ඕමාන් රටට එන්න සිදු වුන එක. මේ රටට එන්න ඉස්සර පොඩි චකිතයක් තිබුණා. මොකද ඕමානය කියන්නෙ ඉස්ලාම් සංස්කෘතියෙන් පෝෂණය වුණු මැද පෙරදිග රටක්. මැද පෙරදිග කිව්වම අපට මතක් වෙන්නේ ශරියා නීතිය, අන්තවාදය වගේ දේවල් නේ. ඕමානය සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, යේමනය, හා අරාබි මුහුදට මායිම් වෙලා තියෙන රටක්.




    පළමු වරට මස්කට් (අගනුවර) ගුවන් තොටුපළින් බැස්ස ගමන් කොහොමත් අන්දුන් කුන්දුන් වෙන්නෙ වෙන මොනවත් නිසා නෙවෙයි, ඕමාන් ජාතිකයන්ගේ කථා විලාසය නිසා. ඔවුන් ඉංග්‍රීසියෙන් කතා කළත් ඒක කරන්නේ අරාබි උරුවට නිසා තේරුම් ගන්න එක හරි අමාරු වැඩක්. අංග චලනයේ පිහිට තමයි ඉතින්. අනිත් එක කතා කරන කොට ටිකක් උච්ච ස්වරයෙන් තමයි කතාව.


    සමාජයත් එක්ක කාලයක් මුහු වෙනකොට තමයි ඔවුන්ගේ ගතිගුණ ටිකෙන් ටික තේරුම් යන්නේ. ඇත්තටම ඔවුන් හිතුවටත් වඩා හරිම සුහදශීලි මිනිස්සු. නිතරම සිනහමුසු මුහුණින් ඉන්නේ. නාඳුනන කවුරු හමු වුණත් "සලාම් අලෙයික්කුම්" (සාමය ඇති වේවා) කියල සුබ පතන්න අමතක කරන්නේ නෑ. මාර්ගයේ ගමන් කරන වාහනයක වේගය සමහරවිට අඩු වෙනවා. එහි ගමන් කරන පුද්ගලයා පාරෙ ගමන් කරන අපට අත ඔසවා ආචාර කරනවා. උදේ පාන්දර හමුවන පුද්ගලයෝ එකිනෙකාට ආචාර කරද්දී දිගින් දිගටම මන්තරයක් වගේ මොනවදෝ කියාගෙන කියාගෙන යනවා. ඒ සමඟම අනිත් පුද්ගලයත් ඒ දේම කියාගෙන යනවා. මුලදී නම් ඒක අපට හරිම නුහුරු දෙයක්. ( පස්සේ දැන ගත්තේ එයින් අදහස් වෙන්නේ, පවුල , දරුවෝ, සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව දීර්ඝ සැප දුක් විමසීමක් කියලා. ඒකේ හොඳම විහිළුව තමයි එක ප්‍රශ්ණයකට උත්තර දෙන්න ඉස්සර අනිත් ප්‍රශ්නය අහන එක. කටපාඩම් කරගෙන ඇවිත් කියන්න වගේ.) තවත් ආචාර ක්‍රම විදිහක් තමයි, වඩා සමීපම තරුණ කොළුගැටයන්ගේ ආචාර ක්‍රමය. මේ තරුණයෝ එකිනෙකාගේ තොල් දෙක ස්පර්ෂ කරල පොඩි හාදුවක් දෙනවා.



     ඕමාන ජාතිකයන් ශ්වේත වර්ණ උස් ශරීර සහිත දේහධාරී කඩවසම් පුද්ගලයෝ. ඔවුන්ගේ ජාතික ඇඳුම දිගු අත් සහිත සුදු දිගු ලෝගුව සහ ජටාව. මේ ජටාවට යොදා ගන්නා රෙදි කඩ අතීතයේ කාන්තාරයේ ගමන් ගන්නා විට කුඩා කූඩාරමක් තනා ගැනීමට උපයෝගී කරගත්තේලු. කෙළිදෙලෙන් ගත කරනා කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා ජනප්‍රියම ඇඳුම වන්නේ ඔවුන්ගේ මේ ජාතික ඇඳුම. එය අරාබි සංස්කෘතියේ ඔවුන්ගේ ආවේණිකත්වය විදහා දැක්වෙන සංකේතයක්. මට අහන්න ලැබුනු විදිහට මෙම ඇඳුම අඳින්න ඉඩ දෙන්නේ ඕමාන ජාතිකයන්ට පමණයි. (එය නීතියක් නොවුනත්, පොදු සම්මතයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. මොකද අපිත එක්ක වැඩ කරන මුස්ලිම් සහෝදරයෙක් මේ ඇඳුම ඇඳගෙන පල්ලියට ගිය වෙලාවක ඔහුට මතක් කරල තියෙනව ඒ ඇඳුම භාවිතා කරන්නේ ඕමාන් ජාතිකයන් පමණක් බව.)



       ඕමාන කාන්තාවන්ගෙන් බොහොම පිරිසක් පැහැපත් ඡවි කළ්‍යාණයකට හිමි කම් කියන උස් සිරුරු සහිත මනස්කාන්ත ළඳුන්. ඔවුන්ගේ ජාතික ඇඳුම,  හිජාබය හා දිගු දෙපා සියල්ල වැසෙන සේ අඳින ලෝගුව. සෞදි අරාබිය හෝ අනෙක් රටවල වගේ ඇස් පමණක් පිටතට පෙනෙන සේ මුහුණ ආවරණය කරන්නේ නෑ. එසේ මුහුණු ආවරණය කර ගත් කාන්තාවන් දැක ගත හැක්කේ හරිම කලාතුරකින්. ඔවුන් රූපලාවණ්‍යයට  දැඩි කැමැත්තක් දක්වනවා. ඒ වගේම තමයි ඕමානයේ ගැහැනුන් පිරිමින් සමඟ කරට කර වැඩ කරනවා. මෙහි කාන්තාවන් සියල්ලන්ම වාගේ වාහන පැදවීම සිදු කරනවා. එක්තරා ආකාරයකට ලංකාවේ කතුන්ට වඩා ඉදිරියෙන් මෙම කතුන් ඉදිරියෙන් ඉන්නවා කියල කියන්නත් පුළුවන්. ඔවුන්රාජ්‍ය පරිපාලනයේ ඇමතිවරියගේ සිට වෙළඳසැල් සේවිකාව දක්වා පැතිරුණු පරාසයක රැකියාවල යෙදෙනවා. නමුත් පොදුවේ පිරිමි උදවිය නම් ගැහැණු උදවියට සාපේක්ෂව කම්මැලියි. ඒක එක්තරා හේතුවක් කාන්තාවෝ මෙම ක්ෂේත්‍ර වල කැපී පෙනෙන්න. අදට යාත්‍රිකයා නවතිනවා. මේක පොඩි පූර්විකාවක්. අනාගතයේදී ඕමානයේ රසවත් තොරතුරු එක්ක හමු වෙමු.


                  ඔබට ජය!!!