Saturday, August 25, 2018

නිරුවත

නිරුවත


දූවිලි වැස්සේ තෙමෙමින් 
         කලු දුමාරයේ තෙමෙන්න
පෙර කළ කරුමය ගෙවමින්
          කලු මිරිවැඩි පිස දමන්න


නිරුවත රජ වූ කල 
          කලු කබා වලින් සැඟව 
වඳිමු... පුදමු.... 
          තබා සිහසුනේ 


අනන්තයේ  වූ තරුවක 
         මිරිඟුවට පෙම් බැඳ 
සිහින මවමු....
          මරු යහනේ 

Tuesday, June 14, 2016

පාරුව 02

පාරුව 02

     යාත්‍රිකයා ගොඩක් දුර යාත්‍රා කළා. ඒත් ඒවා තමන්ගේ සහෘදයින් එක්ක බෙදා ගන්න, යත්‍රිකයට වෙලාවක් තිබුනෙ නෑ. පාරුව තිඹිරිගෙයිම මිය යන්න නොදී පණ දෙන්න කියල හිතා ගෙන තමයි කාලයකට පස්සෙ පෑන අතට ගත්තෙ. අවසනාවකට වගේ කෑගල්ල ප්‍රදේශයේ පන්සලෙන් පන්සලට , අම්බලමෙන් අම්බලමට සංචාරය කරල හොයා ගත්ත වටින කියන තොරතුරු බොහොමයක් අස්ථාන ගත වෙලා. ඒවා බොහොමයක් අපේ ජනතාවගෙන් සැඟවුණු තොරතුරු. කොහොම වුණත් ආයෙත් ඒ ගමන යන බලපොරොත්තුව ඉෂ්ට කර ගන්න ඕන.


    අචින්තම්පි භවති - චින්තම්පි විනස්සති ..... කියල බුදු බණෙත් තියෙනව නෙ. ඒ වගේම යාත්‍රිකයටත් නොසිතූ විරූ දෙයකට මුහුණ පාන්න සිදු වුනා. ඒ තමයි ඕමාන් රටට එන්න සිදු වුන එක. මේ රටට එන්න ඉස්සර පොඩි චකිතයක් තිබුණා. මොකද ඕමානය කියන්නෙ ඉස්ලාම් සංස්කෘතියෙන් පෝෂණය වුණු මැද පෙරදිග රටක්. මැද පෙරදිග කිව්වම අපට මතක් වෙන්නේ ශරියා නීතිය, අන්තවාදය වගේ දේවල් නේ. ඕමානය සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, යේමනය, හා අරාබි මුහුදට මායිම් වෙලා තියෙන රටක්.




    පළමු වරට මස්කට් (අගනුවර) ගුවන් තොටුපළින් බැස්ස ගමන් කොහොමත් අන්දුන් කුන්දුන් වෙන්නෙ වෙන මොනවත් නිසා නෙවෙයි, ඕමාන් ජාතිකයන්ගේ කථා විලාසය නිසා. ඔවුන් ඉංග්‍රීසියෙන් කතා කළත් ඒක කරන්නේ අරාබි උරුවට නිසා තේරුම් ගන්න එක හරි අමාරු වැඩක්. අංග චලනයේ පිහිට තමයි ඉතින්. අනිත් එක කතා කරන කොට ටිකක් උච්ච ස්වරයෙන් තමයි කතාව.


    සමාජයත් එක්ක කාලයක් මුහු වෙනකොට තමයි ඔවුන්ගේ ගතිගුණ ටිකෙන් ටික තේරුම් යන්නේ. ඇත්තටම ඔවුන් හිතුවටත් වඩා හරිම සුහදශීලි මිනිස්සු. නිතරම සිනහමුසු මුහුණින් ඉන්නේ. නාඳුනන කවුරු හමු වුණත් "සලාම් අලෙයික්කුම්" (සාමය ඇති වේවා) කියල සුබ පතන්න අමතක කරන්නේ නෑ. මාර්ගයේ ගමන් කරන වාහනයක වේගය සමහරවිට අඩු වෙනවා. එහි ගමන් කරන පුද්ගලයා පාරෙ ගමන් කරන අපට අත ඔසවා ආචාර කරනවා. උදේ පාන්දර හමුවන පුද්ගලයෝ එකිනෙකාට ආචාර කරද්දී දිගින් දිගටම මන්තරයක් වගේ මොනවදෝ කියාගෙන කියාගෙන යනවා. ඒ සමඟම අනිත් පුද්ගලයත් ඒ දේම කියාගෙන යනවා. මුලදී නම් ඒක අපට හරිම නුහුරු දෙයක්. ( පස්සේ දැන ගත්තේ එයින් අදහස් වෙන්නේ, පවුල , දරුවෝ, සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව දීර්ඝ සැප දුක් විමසීමක් කියලා. ඒකේ හොඳම විහිළුව තමයි එක ප්‍රශ්ණයකට උත්තර දෙන්න ඉස්සර අනිත් ප්‍රශ්නය අහන එක. කටපාඩම් කරගෙන ඇවිත් කියන්න වගේ.) තවත් ආචාර ක්‍රම විදිහක් තමයි, වඩා සමීපම තරුණ කොළුගැටයන්ගේ ආචාර ක්‍රමය. මේ තරුණයෝ එකිනෙකාගේ තොල් දෙක ස්පර්ෂ කරල පොඩි හාදුවක් දෙනවා.



     ඕමාන ජාතිකයන් ශ්වේත වර්ණ උස් ශරීර සහිත දේහධාරී කඩවසම් පුද්ගලයෝ. ඔවුන්ගේ ජාතික ඇඳුම දිගු අත් සහිත සුදු දිගු ලෝගුව සහ ජටාව. මේ ජටාවට යොදා ගන්නා රෙදි කඩ අතීතයේ කාන්තාරයේ ගමන් ගන්නා විට කුඩා කූඩාරමක් තනා ගැනීමට උපයෝගී කරගත්තේලු. කෙළිදෙලෙන් ගත කරනා කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා ජනප්‍රියම ඇඳුම වන්නේ ඔවුන්ගේ මේ ජාතික ඇඳුම. එය අරාබි සංස්කෘතියේ ඔවුන්ගේ ආවේණිකත්වය විදහා දැක්වෙන සංකේතයක්. මට අහන්න ලැබුනු විදිහට මෙම ඇඳුම අඳින්න ඉඩ දෙන්නේ ඕමාන ජාතිකයන්ට පමණයි. (එය නීතියක් නොවුනත්, පොදු සම්මතයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. මොකද අපිත එක්ක වැඩ කරන මුස්ලිම් සහෝදරයෙක් මේ ඇඳුම ඇඳගෙන පල්ලියට ගිය වෙලාවක ඔහුට මතක් කරල තියෙනව ඒ ඇඳුම භාවිතා කරන්නේ ඕමාන් ජාතිකයන් පමණක් බව.)



       ඕමාන කාන්තාවන්ගෙන් බොහොම පිරිසක් පැහැපත් ඡවි කළ්‍යාණයකට හිමි කම් කියන උස් සිරුරු සහිත මනස්කාන්ත ළඳුන්. ඔවුන්ගේ ජාතික ඇඳුම,  හිජාබය හා දිගු දෙපා සියල්ල වැසෙන සේ අඳින ලෝගුව. සෞදි අරාබිය හෝ අනෙක් රටවල වගේ ඇස් පමණක් පිටතට පෙනෙන සේ මුහුණ ආවරණය කරන්නේ නෑ. එසේ මුහුණු ආවරණය කර ගත් කාන්තාවන් දැක ගත හැක්කේ හරිම කලාතුරකින්. ඔවුන් රූපලාවණ්‍යයට  දැඩි කැමැත්තක් දක්වනවා. ඒ වගේම තමයි ඕමානයේ ගැහැනුන් පිරිමින් සමඟ කරට කර වැඩ කරනවා. මෙහි කාන්තාවන් සියල්ලන්ම වාගේ වාහන පැදවීම සිදු කරනවා. එක්තරා ආකාරයකට ලංකාවේ කතුන්ට වඩා ඉදිරියෙන් මෙම කතුන් ඉදිරියෙන් ඉන්නවා කියල කියන්නත් පුළුවන්. ඔවුන්රාජ්‍ය පරිපාලනයේ ඇමතිවරියගේ සිට වෙළඳසැල් සේවිකාව දක්වා පැතිරුණු පරාසයක රැකියාවල යෙදෙනවා. නමුත් පොදුවේ පිරිමි උදවිය නම් ගැහැණු උදවියට සාපේක්ෂව කම්මැලියි. ඒක එක්තරා හේතුවක් කාන්තාවෝ මෙම ක්ෂේත්‍ර වල කැපී පෙනෙන්න. අදට යාත්‍රිකයා නවතිනවා. මේක පොඩි පූර්විකාවක්. අනාගතයේදී ඕමානයේ රසවත් තොරතුරු එක්ක හමු වෙමු.


                  ඔබට ජය!!!

Friday, December 4, 2015

කලි යුගය


කලි යුගය

ගොවියා බත බුලත සැමහට නිති සපයාය

මයිනහමක් ඇදෙමින් කිනිහිර හඩ ගෑය

පිටකොටුවේ බැරි බර පිට අත ගෑය

දෑතේ සවිය සුක්කානම මත පැටවේය


අවි අත දරා සෙබලෙක් තම දිවි දේය

වඩු මඩුවේ ලී කැටයම් හැඩ  වේය

බේකරියේ දහදිය ලුනු රස වේය

ඉලපත  අතගත් වයසක තංගම්මා ය


A 3 නැතත් මේ අප හැම මිනිසුන්‍ ය

බදු ගෙවමින් බඩට නොකා සිගනේය

ඒ බද්දෙන් පර්මිට් එක ඉල්ලීය

අපෙ දොස්තරලා මතු මත්තේ බුදු වේය


Monday, November 16, 2015

කටු පඳුර

කටු පඳුර


වැලි කතරේ තනිවූ 
කුඩා කටු පඳුර නුඹ
වැසි පොද එන තුරා
කොල නැති අතු විදහා

නැගෙන හිරු රජයයි ගුවනේ
උදුරයි ජීවය කෙමෙන්
පෙලමින් රුදුරු ගිනියම් සුළඟින්
නිහඬ රැය දුරයි තවමත්

මරු හා වැහි වළා පලවනා
දැඩි හිරු බැතින් යදිමින්
කුඩා කටු පඳුර නුඹ
නොදනී කෙම් බිමේ පදරුත් 


Thursday, September 18, 2014

මගේ කෙල්ල

මගේ කෙල්ල

ඇය අඩු සීනි කහට කෝප්පයක් වැනිය
බොන විට මඳ කහට ගතියක් දැනේ.......
නමුත් වෙහෙස නිවේ......

Monday, May 26, 2014

පාරුව - 01

පාරුව - 01
යාත්‍රිකයා මෙච්චර කල් යාත්‍රා කලේ ඉබි ගමනින්. සරසවියේ තිබුණු නිදහස ටිකෙන් ටික අහිමි වෙන කොට තමයි කාලය කොච්චර වටිනවද කියල තේරෙන්නේ. ඒකට කමක් නෑ. යාත්‍රිකයාට එක පාරටම හිතුනා, තමන් මෙච්චර කල් යත්‍රා කරද්දි ලැබුණු අත්දැකීම්       යාත්‍රිකයාගේ ප්‍රේක්ෂක පිරිසත් එක්ක (ඇත්තම කියනව නම් බලෙන්ම බ්ලොග් එක බලන්න එකතු කර ගත්තු යාලුවො සෙට් එක) බෙදා ගන්න.

       එදා වෙසක් මාසෙ පසළොස්වක පෝය දාට  දවස් දෙකක් පහු වුනු දවසක්. හා පුරා කියල යාත්‍රාව පටන් ගත්තේ, මහනුවර දළදා මාළිගාවෙන්. 
යාත්‍රිකයා නුවර වැවේ වලාකුළු බැම්ම පහු කරගෙන ආවා. නුවර වැවේ තිලාපි පොකුරු පිටින් පීනනවා. දියකාවොන්ටත් උන්ගෙම මස් කාල එපා වෙලා ඇති. මොකද නුවර වැවේ ඉන්නෙ උන්ම විතරයි මාලු වර්ගයකට. ටිකක් වෙලා නුවර වැවේ කොළ පාට බොර වතුර දිහා බලන් හිටියොත් අඩි 3ක විතර තිලාපිත් බලාගන්න පුළුවන්. නුවර වැවේ ප්‍රධාන අයිතිකාරයෝ තිලාපි වුනාට තවත් සෙට් 1ක් ඉන්නවා වැවට අයිතිකම් කියන. උන් තමයි ඉබ්බොයි පාත්තයොයි. මධHහන වෙලාවට මේ ඉබ්බො වැවට පහත් වෙච්ච පරණ ගස් උඩට ඇවිත් බෙල්ල දික් කරගෙන අව්ව තපිනවා. එච්චර දිග බෙල්ලක් ඔය කටුව ඇතුලේ කොහොම ගුලි වෙල තියෙනවද කියල පුදුමත් හිතෙනව වෙලාවකට. මොනව වුනත් වැව අයිනේ විකුනන්න තියෙන පොරි දැකල යාත්‍රිකයාට හිතුනා, මාළුන්ට අරන් කන්න දෙන්න. හැබැයි රු 30 පොරි පැකැට්ටුව අපේ එක කටකටත් මදියි. යාති%කයා ආපහු හැරිල ගිහින් පාන් ගෙඩියක් ගෙනාවා. කෑලි කෑලි කඩල වැවට දානකොටම කටවල් 100ක් විතර ඇවිත් පාන් කෑල්ල අතුරුදහන් කරවනවා. යාත්‍රිකයා ආපහු ගියා තවත් පාන් ගෙඩියක් ගෙනාවා. ඒකත් මිනිත්තු පහෙන් අතුරුදහන්. යාත්‍රිකයා කලේ විහිළුවක් කියලත් හිතෙනවා. මොකද මිනිහ කුකුළු මස්, මාළු විතරක් කන සීමිත සර්වභක්ෂක චරිතයක්.

යාත්‍රිකයා ඊට පස්සේ ගියේ දළදා මාළිගාවට. රැජිණ හෝටලයේ පිවිසුම් ද්වාරය අසල පාරේ කහ ඉර ළඟ ඉඳගෙන වතුසුදු මල් විකුණන වයසක අම්මගෙන් මල් එකකුත් අරගෙන ඇතුළු වුනේ වැල් බෝධිය පැත්තෙන්.  දැන් ඒකාලෙ වගේ නෙවෙයි. ගමන් මලු, පාවහන් ඔක්කොම තියන්න තියෙන්නෙ එක තැනක. යාත්‍රිකයාට එක දෙයක් දිරවන්නෙ නෑ. ඒ තමයි බෑග් කවුන්ටරයේදි ආධාරයක් කරන්න කියල කියන එක. එක්තරා විදිහක බල කිරීමක්. හැම දේම වාණිජකරණය වෙලා. ආගමික ස්ථාන පවා. යාත්‍රිකයා කවදාවත් එතනට කැමැත්තකින් ආධාර කරල නෑ. ඒකත් කොරල මාළිගාවට ඇතුළු වුනා. එළියෙ තියෙන වතුර මලින් මල් ටිකට පැන් ඉහල උඩ මළුවට ගියා දළදා වහන්සේ වැඳ ගන්න. ඒ වෙලාවෙ හවස තේවාව. පහළ මළුවෙ ශබ්ද පූජාව. යාත්‍රිකයාත් සෙනඟ මැද්දේ කිටි කිටියෙ තද වෙලා දළදා කරඬුව ඇස් දෙකෙන්ම බලා ගත්තා. සාදු සාදු සද්දේ හැම තැනම. පැත්තකට ගිහින් දන්න කියන ගාථා සජ්ජායනා කරල% ශ්‍රද්ධාව උපදවාගෙන බැස්සා පහත මාලයට. 




මාළිගාවෙ එක කොටසක් කටු ගෙයක් විදිහට වෙන් කරලා. ඒකෙ තියෙනවා, 1815 උඩරට ගිවිසුම. ඒකෙ වැඩි හරියක් සිංහල රදළවරු අත්සන් කරල තියෙන්නෙ දෙමළෙන්. ඒ කාලේ රජතුමා නායක්කාර් වංශිකයෙක්. ඒ කාලෙත් මේ වගේම තමයි. බලයට නිලතල වලට තමන්ගෙ ජාතික අනනHතාව පවා පාව දෙනවා. ඒ එක්කම යාත්‍රිකයාට පොඩි ආඩම්බරයක් ඇති වුනා. මොකද දන්න කාලෙ ඉඳන් යාත්‍රිකයා අත්සන් කරන්නෙ සිංහලෙන්. ඒත් අපේ බහුතරය තවමත් දැන හෝ නොදැන යටත් විජිත මානසිකත්වයෙන් ඉන්නෙ.

දළදා මාළිගාව ගැන විස්තරය ප%මාණවත් කියල හිතෙනවා. ඊළඟ ලිපියෙන් ඔයාලව පාරුවෙන් මහනුවර වටයක් එක්ක යන්නයි හිතන් ඉන්නේ. එතකන් පාරුවට ගොඩවෙන්න නොඉවසිල්ලෙන් බලා ඉඳිවි කියා සිතනවා.
ඔබට ජය!!!


Thursday, April 24, 2014

තහනම් පෙම


තහනම් පෙම 


තනි තරුවකි ඈත දිළෙන
සඳක් විලස එලිය නොදෙන
කුමුදුනියේ නුඹ පිපෙන්න…..
සඳ කිරණට හාදු දෙන්න…

නිවෙන දිළෙන දුබල එලිය
නොදැනුනාට ඔය පෙති මත
බලා ඉන්න වරම් දෙන්න

විකසිත වන ඒ ලස්සන 
                                                                                                                                         සොනාර